ස්වීඩන ජාතික විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් නොබෙල්
ගෞරවනීය නොබෙල් ත්‍යාගය ගැන ඔබ දන්නවානේ. නොබෙල් ත්‍යාග පිරිනැමීම, වසරක් පාසා සිදුවන්නකි. මේ 2025 වසර සඳහා ද නොබෙල් ත්‍යාග හිමිවන්නේ කාටදැයි යන්න ප්‍රකාශයට පත් වී අවසන්ය. නොබෙල් ත්‍යාග යනු ලෝකයේ වඩාත්ම වටිනා සහ ඉහළින්ම පිළිගන්නා ත්‍යාගයකි. එසේත් නැතිනම් සම්මානයකි. නොබෙල් ත්‍යාගය ලෝකයට දායාද කළේ ස්වීඩන ජාතික විද්‍යාඥයකු වන ඇල්ෆ්‍රඩ් නොබෙල්ය.
ඇල්ෆ්‍රඩ් නොබෙල් උපත ලැබුවේ 1833 ඔක්තෝබර් 21 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේය. ඔහුට වැඩි කාලයක් පාසල් යාමට ලැබුණේ නැත. නමුත් පෞද්ගලික ගුරුවරුන් යටතේ ඉගෙන ගත් ඔහු, රසායන විද්‍යාවට විශේෂ දක්ෂතාවක් පෙන්වීය. නොබෙල් ස්වීඩන් භාෂාවට අමතරව ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, රුසියන් සහ ඉතාලි භාෂා කතා කිරීමටත් සමත් විය. නොබෙල් තම ජීවිත කාලය තුළ නව නිපැයුම් 355කට වැඩි ප්‍රමාණයකට හිමිකම් (පේටන්ට්) බලපත්‍ර ලබා ගත්තේය. ඔහු ලොව පුරා කර්මාන්තශාලා රාශියක් ද ආරම්භ කළා. ඒවා බොහොමයක සිදු කෙරුණේ යකඩ හා වානේ නිෂ්පාදනයට පමණක් නොව කාලතුවක්කු වැනි බර යුද අවි නිපදවීමත්, ඩයිනමයිට්, ජෙලග්නයිට් වැනි පුපුරන ද්‍රව්‍ය නිපදවීමටත්ය.
ගෞරවනීය නොබෙල් ත්‍යාගයට හිමි පදක්කම
ඔහුගේ වඩාත්ම ප්‍රසිද්ධ මෙන්ම වැදගත්ම නව නිපැයුම වන්නේ ඩයිනමයිට්ය. මෙය පාලනය කර පිපිරවිය හැකි අති ප්‍රබල පුපුරණ ද්‍රව්‍යයකි. ආරම්භයේදී ගල් කැඩීම, පාරවල් සහ උමං මාර්ග තැනීම වැනි ඉදිකිරීම් කටයුතුවල දී මෙය අතිශයින් ප්‍රයෝජනවත් විය. ඩයිනමයිට් සඳහා ඔහුගේ නමට හිමිකම් බලපත්‍රය හිමිව තිබූ නිසා ‘ඩයිනමයිට් රජා‘ යනුවෙන් ඔහු හඳුන්වනු ලැබීය. නමුත් අවාසනාවට මෙම නව නිපැයුම ඊළඟට යුද කටයුතුවලට, බෝම්බ තැනීමට, පාලම් හා ගොඩනැගිලි පුපුුරුවා හැරීම වැනි විනාශකාරී දේට යොදා ගැනීම නිසා නොබෙල් දැඩි ලෙස කනගාටුවට පත් විය. එය ඔහුගේ සිත් තැවුලට හේතුවක් විය.
1888 දී, නොසිතූ දෙයක් සිදුවිය. ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කර්මාන්තශාලවක හදිසි පිපිරීමකින් එහි සේවය කළ ඔහුගේ සහෝදරයකු මියගියේය. ප්‍රංශ පුවත්පතක්, එම මරණය පිළිබඳ පුවත පළ කළේ ‘මරණයේ වෙළෙන්දා මිය යයි’ යනුවෙන්, මියගියේ ඇල්ෆ්‍රඩ් නොබෙල් යැයි පවසමිනි. මරණයේ වෙළෙන්දා යන නමින් හැඳින්වුවේ ඔහුගේ ඩයිනමයිට් සොයා ගැනීම යුද ගැටුම්වලදී ජීවිත විනාශ කිරීමට යොදා ගත් බැවිනි. මෙම වාර්තාව නොබෙල්ගේ සිතට වද දෙන්නට විය. ඒ අන්වර්ථ නාමයෙන් වන අපකීර්තිය නැති කරන්නට මගක් ගැන ඔහු කල්පනා කළේය. මනුෂ්‍ය වර්ගයාට යහපතක් වන ආකාරයෙන් තම ධනය යොදවන්නට නොබෙල් තීරණය කළේ ඒ අනුවය.
නොබෙල් 1876 දී අපූරු පුවත්පත් දැන්වීමක් පළ කළේය. ‘පැරීසියේ වෙසෙන අසීමිත ධනස්කන්ධයක් හිමි ව්‍යාපාරිකයකු ඔහුගේ ලේකම්වරිය හා නිවසේ පාලිකාව ලෙස සේවය කරන්නට යුරෝපීය භාෂා ගණනාවක් හැසිරවිය හැකි උගත් බුද්ධිමත් කාන්තාවක සොයයි.‘ කියා එහි සඳහන් කර තිබුණි. චෙක් ආදිපාදවරියක වූ බර්තා ෆොන් සුට්නාර් 1876 දී ඇය ඇල්ෆ්‍රඩ් නොබෙල් ළඟ ඔහුගේ ලේකම් හා නිවසේ පාලිකාව ලෙස පැරීසියට ගියාය. ඇයට එහි යාමට සිදු වූයේ ඔස්ට්‍රියාවේ වියානාහි ෆොන් සුට්නාර් ආදිපාදවරයාගේ මන්දිරයේ ගුරුවරියක වශයෙන් සේවය කරද්දී ඇයට වඩා වයසින් බාල ආදිපාද පුත් ආතර් සමග ආදරයෙන් වෙළුණු බව හෙළිවීමෙන් පසුවය. එහෙත් ඇය ඒ රැකියාව කළේ මාස කීපයක් විතරය. සිය පෙම්වතා හා විවාහ වීම සඳහා ඇය යළි වියානාවට ගියාය.
නොබෙල් ළඟ රැකියාව අත්හැර ගිය ද ඇය නිතර නිතර ඔහුට ලියුම් ලිව්වාය. සම්මාන දීම පිළිබඳව නොබෙල්ගේ සිතෙහි පහළ වූ අදහස දිරිමත් කළ ඇය සාමය සඳහා විශේෂ සම්මානයක් පිරිනමන්නට යෝජනා කළාය. ලෝකයෙන් යුද්ධය තුරන්කොට සාමය පතුරුවන්නට ලෝකයේ විද්වතුන් හා එක්වූ එකම කාන්තාව ලෙසින් ඇය කීර්තියක් දිනා ගත්තාය. ඇය 1889 දී ලියූ 19 වන සියවසේ ලෝකයට ලොකුම බලපෑමක් කළ යුද විරෝධී නවකතාවක් ද ලීවාය. එය ‘ඔබේ අවි බිම තබන්න‘ (Lay Down Your Arms) නම් විය. නොබෙල් ඇගේ ඉල්ලීමට අනුව සාමය සඳහා සම්මානයක් පිරිනමන්නට තීරණය කළේය. නොබෙල්ගේ අභාවයෙන් පසු ඇරඹුණු නොබෙල් සම්මාන උළෙලේ දී සාමය සඳහා වූ පළමු ත්‍යාගය හිමි වූයේ රතු කුරුස සංගමයට හා එහි ආරම්භකයා වූ හෙන්රි ඩුනාන්ටය. ඊළඟට 1905 දී සාමය හඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූයේ බර්තා ෆොන් සුට්නාර්ටය. එහෙත් ඇය මිය ගොස් දින කීපයකට පසු පළමු ලෝක යුද්ධය ඇරඹුණේය.
ඒ අනුව, ඇල්ෆ්‍රඩ් නොබෙල්, 1895 වසරේ දී සිය අවසන් කැමැත්ත සකස් කළේය. එහි සඳහන් වුණේ තම විශාල ධනයෙන් වැඩි කොටසක් ලෝකයට උසස්ම සේවයක් කළ පුද්ගලයන්ට සෑම වසරකම ත්‍යාග පිරිනැමීම සඳහා වෙන් කරන ලෙසය. නොබෙල් 1896 දී මිය ගිය පසු, ඔහුගේ අවසාන කැමැත්තට අනුව 1901 වසරේ සිට නොබෙල් ත්‍යාගය පිරිනැමීම ආරම්භ විය. ඇල්ෆ්‍රඩ් නොබෙල් මුලින්ම යෝජනා කළේ ප්‍රධාන ක්ෂේත්‍ර පහක් සඳහා ත්‍යාග පිරිනැමීමටය. එම ක්ෂේත්‍ර පහ භෞතික විද්‍යාව (Physics), කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව (Physiology or Medicine), භෞතික විද්‍යාව (Physics), රසායන විද්‍යාව (Chemistry), සාහිත්‍යය (Literature) සහ සාමය (Peace) යි. මීට අමතරව, 1968 දී ස්වීඩන් මහ බැංකුව විසින් ආර්ථික විද්‍යාව (Economics) සඳහා වූ ත්‍යාගයක් ද නොබෙල් සිහිවීම පිණිසය. නොබෙල් ත්‍යාග පිරිනැමීමෙන් අපේක්ෂා කරන්නේ, මානව වර්ගයාගේ දියුණුව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ පුද්ගලයන් හා සංවිධාන ඇගයීමට ලක් කිරීමය. සෑම සම්මානලාභියෙකුටම රන් පදක්කමක්, සහතික පත්‍රයක් සහ මුදල් ත්‍යාගයක් හිමි වෙයි.
සාමාන්‍යයෙන් සෑම වසරම, නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කිරීම සිදුවන්නේ, ඔක්තෝබර් මාසයේ පළමු සතිය තුළදීය. පිළිවෙළින් වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍යය සහ සාමය සඳහා නොබෙල් ත්‍යාග පිරිනැමෙන්නේ කාටදැයි එම පළමු සතියේ දින පහේ දී ප්‍රකාශයට පත් කෙරෙයි. ආර්ථික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ප්‍රකාශයට පත් කරන්නේ අවසානයටය. ඒ, ඔක්තෝබර් දෙවැනි සතියේ පළමු සඳුදා දිනයේය. වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍යය යන ත්‍යාග ප්‍රකාශයට පත් කිරීම කරනු ලබන්නේ, නොබෙල් කමිටුව විසින් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදීය. සාම ත්‍යාගය ප්‍රකාශයට පත් කරන්නේ නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදීය.
නොබෙල් ත්‍යාගය ප්රදානය කිරීමේ දිනය, එසේත් නැතිනම් ත්‍යාග ප්රදානෝත්සවය සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා සිදුවෙයි. ත්‍යාග ප්රදානය සඳහා මෙම දිනය තෝරාගෙන ඇත්තේ ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් මියගිය දිනය බැවිනි. සාම ත්‍යාගය පිරිනැමීම සඳහා උත්සවය පවත්වන්නේ නෝර්වේ රටේ ඔස්ලෝ නුවරදීය. අනෙකුත් සියලුම ත්‍යාග (වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍ය සහ ආර්ථික විද්‍යා) පිරිනැමීමේ උත්සවය එදිනම (දෙසැම්බර් 10) පවත්වන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැත්වෙයි.
නොබෙල් ත්‍යාග සඳහා පිරිනමන මුදල් ත්‍යාගයේ වටිනාකම නිරන්තරයෙන් වෙනස් වේ. මෙම මුදල නොබෙල් පදනමේ ආයෝජනවල වර්ධනය මත ද වෙනස් වෙයි. ඒ ලෝකය වෙනස් වෙද්දී, ලෝකයේ ආර්ථිකය වෙනස් වෙද්දීය. 2023, 2024 සහ මෙම 2025 වසර සඳහා එක් නොබෙල් ත්‍යාගයක මූල්‍යමය වටිනාකම ස්වීඩන් ක්රෝනා මිලියන 11 කි. මෙම මුදල එය සෑම ක්ෂේත්රයකම (වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍යය, සාමය සහ ආර්ථික විද්‍යාව) ජයග්රාහකයාට හෝ බෙදා ගන්නා පිරිසට හිමි වෙයි. නොබෙල් ත්‍යාගය ජයග්‍රාහකයන් කිහිප දෙනකු අතර බෙදී යන්නේ නම්, ත්‍යාග මුදල ඔවුන් අතර සමව බෙදී යයි. ඊට අමතරව, ජයග්‍රාහකයන්ට රන් පදක්කමක් සහ ඩිප්ලෝමාවක් ද පිරිනැමෙයි.
2025 නොබෙල් සම්මානය - භෞතික විද්‍යාව
පිළිවෙළින් ජෝන් ක්ලාක්, මයිකල් එව්. ඩෙවොරේ සහ ජෝන් එම්. මාටිනස් යන භෞතික විද්‍යාඥයන් තිදෙනා.
භෞතික විද්‍යාව සඳහා ත්‍යාගය එක්සත් රාජධානියේ ජෝන් ක්ලාක් (Johk Clarke), ප්‍රංශයේ මයිකල් එච්. ඩෙවොරෙ (Michel H. Devoret) සහ ඇමෙරිකාවේ ජෝන් එම්. මාටිනිස් (John M, Martinis) යන විද්‍යාඥයන් තිදෙනාට පිරිනැමිණි. ඔවුන් සඳහා දැක්වූ හේතු පාඨයෙහි සඳහන් වූයේ ‘විද්‍යුත් පරිපථයක සාර්ව ක්වොන්ටම් යාන්ත්‍රික උමං මාර්ග ගත කිරීම සහ ශක්ති ප්‍රමාණකරණය සොයා ගැනීම (“for the discovery of macroscopic quantum mechanical tunnelling and energy quantisation in an electric circuit”) වෙනුවෙන් පිරි නැමෙන බවයි. ඔවුන්ගේ මේ සොයාගැනීම නිසා අති නවීන ක්වොන්ටම් යාන්ත්‍රණ විද්‍යාත්මක සංසිද්ධිය, ක්වොන්ටම් පරිගණකකරණය (Quantum Computing) වැනි ක්ෂේත්රවල ප්‍රගතිය වෙනුවෙන් සඳහා තීරණාත්මක අඩිතාලමක් වැටී තිබේ.
2025 නොබෙල් සම්මානය - රසායන විද්‍යාව
පිළිවෙළින් සුසුමු කිටගාවා, රිචඩ් රොබ්සන් සහ ඔමාර් එම්. යාගී යන රසායන විද්‍යාඥයන් තිදෙනා.
රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජපානයේ සුසුමු කිටගාවා (Susumu Kitagawa), එක්සත් රාජධානියේ රිචඩ් රොබ්සන් (Richard Robson) සහ ඇමෙරිකාවේ ඕමාර් එම්. යාගි (Omar M. Yaghi) යන විද්‍යාඥයන් තිදෙනාට හිමි විය. ඔවුන් ලෝහ-කාබනික රාමු (Metal-Organic Frameworks - MOFs) සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇගයීමට ලක් විය. මෙම MOFs නම් සිදුරු සහිත ස්ඵටික ද්‍රව්‍ය, වායු ගබඩා කිරීමට, කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීමට සහ රසායනික උත්ප්‍රේරක ලෙස භාවිත කිරීමට හැකි වන සේ අභිරුචිකරණය කළ හැකි වීම විශේෂත්වයකි.
2025 නොබෙල් සම්මානය - කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව
පිළිවෙළින් මේරි ඊ. බෘන්කෝ, ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් සහ ශිමෝස් සකගුචි යන වෛද්‍ය විද්‍යාඥයන් තිදෙනා.
මෙම 2025 වසර සඳහා වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ විශිෂ්ට දායකත්වයක් වෙනුවෙන් ඇමරිකානු ජාතිකයන් වන මේරි ඊ. බ්රන්කොව් (Mary E. Brunkow), ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල්(Fred Ramsdell) සහ ජපන් ජාතික ෂිමොන් සකගුචි (Shimon Sakaguchi) යන විද්‍යාඥයින් තිදෙනාට නොබෙල් ත්‍යාගය හිමි විය. සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපට සතුරකු ලෙස ක්‍රියා කරන අවස්ථා ඇත. එසේ වන්නේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් සොයා ගැනීම් රැසක් සිදු කළ බැවින්, මෙම වෛද්‍ය පර්යේෂකයන් තිදෙනාට මෙම වසරේ, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
2025 නොබෙල් සම්මානය - සාහිත්‍යය
නොබෙල් සාහිත්‍ය සම්මානලාභී ලැස්ලෝ ක්‍රස්නාහොර්කායි
සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය, එසේත් නැතිනම් නොබෙල් සාහිත්‍ය සම්මානය, හංගේරියානු නවකතාකරුවෙකු සහ තිර රචකයෙකු වන ලැස්ලෝ ක්‍රස්නාහොර්කායි (Lazlo Krasznahorkai) සාහිත්‍යධරයාට පිරිනැමීමට රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය තීරණය කළේය. නොබෙල් සාහිත්‍ය සම්මානය දිනා ගත් දෙවැනි හංගේරියානු ලේඛකයා වන්නේ 71 හැවිරිදි ක්‍රස්නාහොර්කායි ය. සමාජය විනිවිද දකින, ආකර්ෂණීය හා දූරදර්ශී කතා තේමා සැලකිල්ලයට ගනිමින්, ක්රස්නාහොර්කායිට මෙම වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීමට තීරණය කළේ යැයි රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය හේතුපාඨ වශයෙන් පැහැදිලි කර ඇත.
2025 නොබෙල් සම්මානය - සාමය
සාම සම්මානලාභී මාරියා කොරීනා මචාඩෝ
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ගැන ලොකු උනන්දුවක් පැවැතිණි. ඒ, ලෝකයේ යුද ගැටුම් නැවැත්වීමට මැදිහත් වූ බැවින්, මම නොබෙල් සාම ත්‍යාගයට සුදුසු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය නිසාය. නොබෙල් සාම ත්‍යාග ප්රදානය පසුගිය 10 වැනිදා සිදුවිය. ඒ අනුව සාම ත්‍යාගය මෙවර හිමිවූයේ වෙනිසියුලාවේ, විපක්ෂ නායිකාවක ලෙස කටයුතු කරන ඇමෙරිකානු හිතවාදිනියකද වන මාරියා කොරීනා මචාඩෝට (Maria Corina Machado) ය. ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවේ දිගු කාලයක් තිස්සේ බලයේ සිටින්නේ නිකලස් මදුරෝය. මදුරෝගේ පාලනය යටතේ ප්රජාතන්ත්රවාදය ගිලිහී ගොස් ඇතැයි ඇමෙරිකාවේ චෝදනාවය. වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම්, දේශපාලන ක්‍රියාකාරීන් නිරන්තරයෙන් දැඩි ලෙස මර්දනයට ලක් වෙයි. වෙනිසියුලා ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා මාරියා කරන මෙහෙවර ඇගයීමට ලක් කරමින් ඇයට මෙම වසරේ නොබෙල් ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුව හේතුපාඨ මගින් පැහැදිලි කළේය.
2025 නොබෙල් සම්මානය - ආර්ථික විද්‍යාව
පිළිවෙළින් ජෝ මොකීර්, පිලිපේ ඒජියන් සහ පීටර් හොවිට් යන ආර්ථික විද්‍යාඥයන් තිදෙනා.
රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමිය විසින් 2025 ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ආර්ථික විද්‍යාඥයන් තිදෙනකුට පිරිනමා ඇත. ඔවුන් නම් ඊශ්‍රායල ජාතික විද්‍යාඥයකු වූ ජෝ මොකිර් (Joel Mokyr) හා ඇමරිකන් ජාතික විද්‍යාඥයකු වූ පීටර් හොවිට් (Peter Howitt) යන දෙදෙනාත්, ඉංග්‍රීසි ජාතික පිලිපේ ඒජීයන් (Philippe Aghion) නම් ආර්ථික විද්යාඥයාත්ය. මේ ත්‍යාගයෙන් හරි අඩක් ජෝ මොකිර්ටත් අනිත් අඩ පිලිපේ ඒජීයන් හා පීටර් හොවිට් අතර සම සමව බෙදෙනු ඇත. මෙම සම්මානය හැඳින්වෙන්නේ ස්වයිරීයස් රිස්ක්බෑන්ක් පිරිනමන ඇල්ෆ්‍රඩ් නොබෙල් අනුස්මරණ ත්‍යාගය ලෙසයි. මෙය නොබෙල් විසින් අන්තිම කැමැත්තෙන් නම් කළ ත්‍යාගයක් නොවේ. නොබෙල් සම්මාන පිරිනමන අරමුදල තැන්පත් කර ඇති බැංකුව ස්වීඩනයේ ස්වයිරීයස් රිස්ක්බෑන්ක් ය.
මෙවර සම්මානයෙන් වැඩි මුදල හිමිකර ගන්නා ජෝ මොකිර් ඊශ්‍රායලයේ ටෙල් අවිව් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකි. ඔහුට මෙය පිරිනැමෙන්නේ ‘තාක්ෂණික ප්‍රගතිය තුළින් තිරසාර සංවර්ධනයක් සඳහා ඇති පූර්ව අවශ්‍යතා හඳුනා ගැනීම හා ඒ සඳහා නව අර්ථකථන සැපයීම‘ වෙනුවෙනි. අනික් දෙදෙනාට පිරිනැමෙන්නේ ‘නිර්මාණශීලීව කරන විලෝපයක් මගින් තිරසාර වර්ධනයක් ඇති කර ගැනීම පිළිබඳ න්‍යාය‘ ඉදිරිපත් කිරීම වෙනුවෙනි.
හාස්‍යජනක අනොබෙල් ත්‍යාගය
මේ නොබෙල් (Nobel Prize) ත්‍යාගයට අමතරව දැන් අනොබෙල් (Ig Nobel Prize) ත්‍යාගය කියා එකකුත් පිරිනැමෙයි. විද්‍යාත්මක පර්යේෂණවලට පිරිනැමෙන මේ සම්මානය නොබෙල් සම්මානයට වඩා පහත් මට්ටමේ එකකි. ඒ සඳහා තෝරණ නිර්මාණය ඇසූ පමණින් සිනහවට ලක් වන එහෙත් පසුව එහි වැදගත්කම ගැන සිතන්නට පෙළඹවෙන එකකි. 1991 දී ‘ඇදහිය නොහැකි පර්යේෂණ‘ නමින් වූ ද්විමාසික සඟරාවේ කර්තෘ මාර්ක් ඒබ්‍රහම් විසින් අරඹන ලද මේ සම්මානය පිරිනැමෙන්නේ නොබෙල් සම්මානලාභීන් අතිනි. පසුගිය කාලයේ භෞතික විද්‍යා අනොබෙල් සම්මානය පිරිනැමුණේ
රයිනෝසිරස් අහසින් ගෙන යන්නට හොඳම ක්‍රමය උඩුකුරුව බව සොයා ගත් විද්‍යාඥයාටය.
මෙවර එහි රසායන විද්‍යා අනොබෙල් සම්මානය හිමි වී ඇත්තේ මැසි දෂ්ඨනයෙන් බේරීම සඳහා හරකුන්ගේ සිරුරුවල සීබ්රා තීරු ඇඳීමෙන් පුලුවන් බව සොයා ගත් විද්‍යාඥයාටය. එක්තරා විධියකට හාස්‍යජනක සම්මානයක් වන මේ සඳහා සිම්බාබ්වේ ඩොලර් ත්‍රිලියනයක් හිමි වෙයි. එහෙත් ඒ රටෙහි උද්ධමනය ඉතා ඉහළ නිසා එහි මුදල් වටිනාකමක් නැති තරම්ය.
- ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි
0 Comments